උපදේශන නිලධාරීන් සහ උපදේශන ගුරුභවතුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ කළුතර දිස්ත්රික් වැඩසටහන සාර්ථකව පැවැත්වේ
වර්තමාන රජයේ “රටම එකට” මත්ද්රව්ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව, මත්ද්රව්ය උවදුර පිටුදැකීම සහ පුනරුත්ථාපන ක්රියාවලිය ශක්තිමත් කිරීම සඳහා රාජ්ය හා රාජ්ය නොවන ආයතනවල දායකත්වය ලබා ගැනීමේ අරමුණින්, පුනරුත්ථාපන කාර්යාංශය විසින් ක්රියාත්මක කරනු ලබන උපදේශන නිලධාරීන් සහ උපදේශන ගුරුභවතුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ කළුතර දිස්ත්රික් වැඩසටහන 2026 ඔක්තෝබර් මස 28 දින කළුතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩසටහනේ ප්රධාන අරමුණ වූයේ මත්ද්රව්ය නිවාරණය, උපදේශනය සහ පුනරුත්ථාපනය සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීමත්, මත්ද්රව්ය නිවාරණය සඳහා ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ඒකාබද්ධ ජාලයක් ගොඩනැගීමත් ය.
කළුතර දිස්ත්රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත් මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්රිගේඩියර් එම්.එස්. අමිත් මහතා, අතිරේක පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්රිගේඩියර් ප්රසන්න ප්රියලාල් මහතා, කළුතර දිසාව භාර නියෝජ්ය පොලිස්පතිනි ඩබ්ලිව්.ජේ. පද්මිණි මහත්මිය, කළුතර කොට්ඨාශ භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඒ. උදයකුමාර මහතා, පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ කාන්තා සහකාර පොලිස් අධිකාරි මිහිරානි තිලකරත්න මහත්මිය, ජ්යෙෂ්ඨ මනෝ උපදේශක සහ මනෝ චිකිත්සක වෛද්ය චමින්ද විරසිරිවර්ධන මහතා, කළුතර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම්වරුන්, කලාප අධ්යාපන අධ්යක්ෂවරුන්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ බුද්ධි එරංගිකා මහත්මිය, කළුතර බන්ධනාගාරයේ වැඩබලන ප්රධාන ජේලර් හේමන්ත ප්රදීප් මහතා ඇතුළු උපදේශන නිලධාරීන් සහ රාජ්ය නිලධාරීහු රැසක් සහභාගි වූහ.
වැඩසටහන ආරම්භයේදී සහභාගි වූවන් පිළිගනිමින් අදහස් දැක්වූ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්රිගේඩියර් එම්.එස්. අමිත් මහතා, මත්ද්රව්යවලට ඇබ්බැහි වූ තරුණ පිරිස් ඉන් මුදාගෙන යහපත් සමාජ ජීවිතයකට යොමු කිරීම පුනරුත්ථාපන කාර්යාංශයේ ප්රධාන අරමුණක් බවත් එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා උපදේශන නිලධාරීන්ගේ සහ උපදේශන ගුරුභවතුන්ගේ දායකත්වය අතිශය වැදගත් බව පෙන්වා දුන් ඒ මහතා, පුනරුත්ථාපන ක්රියාවලියට පෙර සහ පසු සිදුකරන විපරම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා දිස්ත්රික් මට්ටමින් පුහුණු වූ උපදේශන නිලධාරීන්ගේ සංචිත පිහිටුවීමේ අවශ්යතාව සහ ඉදිරියේදී පිහිටුවන දිස්ත්රික් පුනරුත්ථාපන මධ්යස්ථානයන් පිළිබඳව ද පැහැදිලි කළේය.
මෙම වැඩමුළුවේ ප්රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ කළුතර දිස්ත්රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත් මහතා අදහස් දක්වමින්, යහපත් හා වගකීම්සහගත පුරවැසියන් බිහිකිරීම සඳහා අධ්යාපන ක්ෂේත්රයේ උපදේශන ගුරුභවතුන් සතු වගකීම සහ වගවීම මෙන්ම, “රටම එකට” ජාතික වැඩසටහන යටතේ කළුතර දිස්ත්රික්කයේ තරුණ පරපුර මත්ද්රව්ය උවදුරෙන් මුදවා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.
වැඩමුළුවේ ආරාධිත දේශකයෙකු ලෙස එක් වූ ජ්යෙෂ්ඨ මනෝ උපදේශක සහ මනෝ චිකිත්සක වෛද්ය චමින්ද විරසිරිවර්ධන මහතා,ඇබ්බැහිය යනු කුමක්ද, මොළයේ ක්රියාකාරිත්වය සහ එමගින් මත්ද්රව්ය හා විවිධ විෂමාචාරයන්ට යොමුවන ආකාරය, චිත්තවේග පාලනය,ආතති වර්ග කිරිම, චර්යාත්මක බලපෑම් මෙන්ම සුරක්ෂිත පවුල් ඒකක සඳහා උපදේශනය ලබා දීම පිළිබඳව මනෝවිද්යාත්මක පැහැදිලි කිරීමක් සිදු කළේය.
තවද, මත්ද්රව්ය දුර්භාවිතය සම්බන්ධ නීතිමය තත්ත්වයන්, පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ වගකීම, මත්ද්රව්ය දුර්භාවිතයෙන් සිදුවූ සමාජ සිදුවීම් සහ එහි භයානක පැතිකඩ පිළිබඳව පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ කාන්තා සහකාර පොලිස් අධිකාරි මිහිරානි තිලකරත්න මහත්මිය විසින් සහභාගි වූවන් දැනුවත් කරන ලදී.
දේශනවලින් අනතුරුව, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්රිගේඩියර් එම්.එස්. අමිත් මහතාගේ මූලිකත්වයෙන් පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ කාන්තා සහකාර පොලිස් අධිකාරි මිහිරානි තිලකරත්න මහත්මිය, ජ්යෙෂ්ඨ මනෝ උපදේශක සහ මනෝ චිකිත්සක වෛද්ය චමින්ද විරසිරිවර්ධන මහතා, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ බුද්ධි එරංගිකා මහත්මිය සහ කළුතර බන්ධනාගාරයේ වැඩබලන ප්රධාන ජේලර් හේමන්ත ප්රදීප් මහතා සහභාගිත්වයෙන් විශේෂ විද්වත් සාකච්ඡාවක් ද පැවැත්විණි.
මෙහිදී, මත්ද්රව්ය ඇබ්බැහියට බලපාන පාරිසරික හා පෞද්ගලික සාධක, පවුල් වටපිටාවේ බලපෑම, පාසල් පද්ධතියේ වගකීම, අධ්යාපන ක්රියාවලිය තුළට මත්ද්රව්ය නිවාරණය සම්බන්ධ දැනුවත් කිරිම් ඇතුලත් කිරීම, උපදේශනයේ දී පුහුණු විය යුතු ගැටළු නිරාකරණය, උපදේශන සේවාවල දායකත්වය සහ පුනරුත්ථාපන ක්රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්යතාව පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු කෙරිණි.