පුනරුත්ථාපන කාර්යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) සහ පුනරුත්ථාපන කාර්යාංශය (BOR) අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) සහ පුනරුත්ථාපන කාර්යාංශය (BOR) අතර ආයතනික සහයොගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් 2026 ජූනි 24 දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.

පුනරුත්ථාපන කාර්යාංශය මෙලෙස අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සමග ගිවිසුම්ගත වීමත් සමග ජාත්‍යන්තර මානව හිමිකම් මූලධර්මයන්ට අනුගත වීම තුළින් ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන ක්‍රියාවලියේ විනිවිදභාවය සහ විශ්වසනීයත්වය ලෝකය හමුවේ වඩාත් තහවුරු වේ. එමෙන්ම පශ්චාත්-යුද වාතාවරණයකට මුහුණ දෙන සහ ඉන් මිදීමට උත්සාහ කරන ලොව අනෙකුත් රටවලට, ආයතන දෙකක් අතර සිදුවන මෙවැනි සහයෝගීතාවන් කදිම ආදර්ශයක් වන අතර, අතුරුදන් වූවන්ගේ පවුල්වලට සාධාරණය ඉටුකිරීම සහ පුනරුත්ථාපනය ඒකාබද්ධව සිදුකිරීම මගින් සමාජය තුළ සැබෑ සහ ස්ථිරසාර සංහිඳියාවක් ඇති කිරීමට නවමු  මාවතක් මින් විවර වේ.

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මීට පෙර ද ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,  ජාත්‍යන්තර රතු කුරුස කමිටුව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුව සහ රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තුමේන්තුව සමගද අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇති අතර, පුනරුත්ථාපන කාර්යාංශය සමග අත්සන් කරන ලද මෙම නව අවබෝධතා ගිවිසුම වගකීම් ඉටු කිරිම සඳහා සහ අදාළ පාර්ශ්වයන් අතර සම්බන්ධීකරණය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා ගනු ලැබු තවත් වැදගත් පියවරකි.

මෙම අවබෝධතා ගිවිසුම මගින් විශේෂයෙන්ම තොරතුරු හුවමාරු කිරීම, යොමු කිරීමේ ක්‍රියාවලින්, ධාරිතා සංවර්ධනය සහ අතුරුදන් වූ තැනැත්තන් සොයා ගැනීම හා බලපෑමට ලක් වූ පවුල්වලට සහය ලබා දීම සම්බන්ධ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීම සදහා ආයතන දෙක අතර සහයෝගිතා රාමුවක් ස්ථාපිත කරනු ලබයි.

මෙම අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් කිරීම අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද මහතා සහ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම්එස් අමිත් විසින් ආයතන දෙකේම නිළධාරින්ගේ සහභාගිත්වයෙන් අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ දී සිදු  කරන ලදී.

අතුරුදන්  වූ තැනැත්තන් සම්බන්ධ මානූෂීය ගැටළු විසඳීම සහ බලපෑමට ලක් වූ පවුල් සහ ප්‍රජාවන්ගේ යහපත වෙනුවෙන් ඵලදායී ආයතනික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ආයතන දෙකම දක්වන කැපවීම මෙම හවුල්කාරිත්වය මගින් පිළිබිඹු කරයි.